ඔහු සැමදාම උදේ ආහාරය ගන්නේ මැක්ඩොනල්ඩ් ආපන ශාලාවෙන්.
ඇමෙරිකාවේ මැක්ඩොනල්ඩ් සැලකෙන්නේ ලාබෙට ඉක්මන් ආහාර ගන්න පුළුවන් ස්ථානයක්
ලෙසටයි. උදේ රැවුල බාන ගමන් ඔහු සාමාන්‍යයෙන් තෝරා ගන්නා උදේ ආහාර විකල්ප තුනෙන්
ගන්නේ කුමක් දැයි තීරණය කරනවා. සොසේඡ් පැටිස් දෙකක් ඩොලර් 2.61
ක් ද සොසේඡ්, බිත්තර, චීස් ඩොලර් 2.95
ක් ද වෙනවා. කොටස් වෙළඳපොළ වාසිදායක වී තමා සමෘද්ධිමත් යෑයි හැඟෙන අවස්ථාවක නම්
ඔහු තෝරා ගන්නේ ඩොලර් 3.17 ක් වෙන බේකන්, සොසේඡ්, චීස්
බිස්කට් විකල්පයයි. කිසිම විටක ඔහු ඒ මුදල ඉක්මවා වියදම් කරන්නේ නෑ. තමන්ට අවශ්‍ය
මුදල බිරිඳට පැවසූ විට ඇය ඒ මුදල ඔහු කාරයේ තබා ගන්නා කෝප්පයට දමනවා. කාර්යාලයට
රථය පදවාගෙන යන අතරමඟ හමුවෙන මැක්ඩොනල්ඩ් ආපන ශාලාවෙන් ඔහු ආහාර ගන්නවා. බීමට
ගන්නේ කොකාකෝලා කෝප්පයක්.
මේ තොරතුරුවලින් නම් ඔබ සමහර විට මේ කවරෙක් දැයි හඳුනා
නොගනීවි. ඔහු ලොව ධනවත් ලැයිස්තුවේ හතරවෙනි තැන සිටින වොරන් බෆට්ය. ඔහු ලොව ප්රමුඛ
පෙළේ කොටස් වෙළෙඳ ආයෝජකයන්ගෙන් කෙනකු වන අතර බර්ක්ෂයර් හැතවේ සමාගමේ විශාලම
කොටස් හිමිකරු සහ ප්‍රධාන විධායක නිළධාරියා ද වෙනවා. බර්ක්ෂයර් හැතවේ සමාගම සිය
ව්‍යාපාරයේ අරටුව ලෙස රක්ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යන සහ වෙනත් ව්‍යාපාර ගණනාවකින්
සැදුම්ලත් ඒකාබද්ධ වෙළෙඳ සමාගමකි. එහි ව්‍යාපාරික කටයුතු හරහා වොරන් බුෆේගේ
ආයෝජනයන්ට උවමනා මුදල් සැපයෙනවා. ඔහු මුල් කාලයේදී සිය අවධානය යොමු කළේ ප්‍රසිද්ධියේ
මිල ගණන් නියම කරන ව්‍යාපාර වස්තු සම්බන්ධයෙනි. පසුව ඔහු සම්පූර්ණ සමාගම් මිලදී
ගැනීම කෙරේත් යොමු වී සිටිනවා. ඒ අනූව අද සීනි කෑම නිෂ්පාදනය, සිල්ලර
විකිණුම්, ගෘහභාණ්ඩ, විශ්වකෝෂ, ස්වර්ණාභරණ
විකිණීම් සහ ප්රවෘත්ති පත්‍ර ප්රකාශනය ඇතුළුව තවත් විවිධ ව්‍යාපාර ගණනාවක්
බර්ක්ෂයර් හැතවේ සමාගමට අයත් වෙනවා.
වරක් ලොව ධනවත්ම තැන ද හිමිව සිටි වොරන් බෆට්ගේ
ශුද්ධවත්කම ඩොලර් බිලියන 85.5 කි. 84 වියේ පසුවන ඔහු ගත
කරන්නේ සරල දිවිපෙවෙතකි. ඔහු පදිංචිව සිටින්නේ 1958
දී ඩොලර් 31500 කට මිලදී ගත් කාමර 5 කින් යුතු නිවසෙයි.
අදටත් කටයුතු කරන්නේ ඒ දිනවලම ගත් කාර්යාලයෙයි. මේ දෙකම පිහිටා ඇත්තේ ලොව මුල්‍ය
මධ්‍යස්ථාන වලින් බොහෝ ඈත් වූ ප්‍රදේශයක් වන නෙබ්රස්කාහිය. ඔහු ජංගම දුරකථනයක්
රැගෙන යන්නේ නැත. ඔහුගේ මේසය මත පරිගණකයක් නැත. එසේම රියෑදුරකු ද නැති අතර ඔහු
හමුවීමට පැමිණෙන අමුත්තන් ගෙන ඒමට ඔහුම යන්නේය. උදේ 6.45
ට පමණ අවදි වන වොරන් බෆට්ගේ කටයුතු වල 80% ක්ම වෙන් වෙන්නේ
කියවීමටයි. බොහෝ විට වෙළඳපොළ විවෘත කළ විට කාර්යාලයට යන ඔහු මුළු කාලයම වගේ ගත
කරන්නේ මුල්‍ය ප්‍රකාශන සහ වාර්තා ආදිය කියවීටයි. කාර්යාලයෙන් පසුව පුවත්පත් සහ
පොත් කියවනවා. විවේක කාලය මිතුරන් සමඟ කතා කිරීමටත් බ්‍රිඡ් ක්‍රීඩාවේ යෙදෙන්නටත්
වෙන්වෙනවා. තම වෙලාව එක් එක් කාරණාවන්ට හිරකර ගත් කාලසටහනක් වොරන් බෆට්ට නැහැ. 1991
මුල් වරට බිල් ගේට්ස් හමු වූ අවස්ථාවේ අනාගත හමුවන් සටහන් කිරීමට වොරන් බෆට්ගේ
දින පොත ගත් විට එය කොතරම් හිස් දැයි දැක බිල් ගේට්ස් පුදුම වී තිබෙනවා.
සමහරු ඉපදෙන්නෙත් බිලියනපතියන් ලෙසයි. තවත් අය ඒ තැනට
පැමිණෙන්නේ වෙහෙස වී ධනය ඉපයීමට කටයුතු කිරීමෙන්. වොරන් බෆට් අයිති වෙන්නේ ඒ
දෙවැනි කොටසටයි. ඔහු ව්‍යාපාර කටයුතු ඇරඹියේ කුඩා කාලයේදීමය. අනෙකුත් සම වයසේ
ළමයින් සෙල්ලම් කරන විට ඔහු නොයෙකුත් දෑ විකිණුවා. ඔහු වයස අවුරුදු 6
දී තරම් කුඩා වයසෙදි කොකාකෝලා ඇසුරුම් 6 ක් සීයාගේ වෙළඳපොළෙන්
මිළදී ගෙන සෑම බෝතලයකින්ම සත 5 ක ලාභයක් තබා ගනිමින්
විකුණා තිබෙනවා. වොරන් බුෆේ ආයෝජනය පිළිබඳව පොත් කියවන්නට ගත්තේ වයස අවුරුදු 7
ක් 8 ක් පමණ කාලයේ ඉඳලයි. ඔහුගේ පියාට කුඩා ආයෝජන
කාර්යාලයක් තිබුණු අතර ඔහු එහි තැන තැන ඇති පොත් පත් කියවන්නට පුරුදු වී සිටියා.
ආයෝජනයට ඔහු කොතරම් ඇල්මක් දැක්වූවාද කියනවා නම් වයස අවුරුදු 11
වන විට ඔහු පුස්තකාලයට ගොස් කියවන්නට වූයෙත් එවැනි පොතපතයි. ඔහු තම මුල්ම වරට ව්‍යාපාර
කොටස් 3 ක් මිලදී ගත්තෙත් ඒ වයසෙදියි.
වයස අවුරුදු 19 දී කියවන්නට ලැබුණ
මහාචාර්ය බෙන්ජමින් ග්‍රැහැම්ගේ ද ඉන්ටලිජන්ට් ඉන්වෙස්ටර් නම් පොත තමාට බොහෝ
බලපෑමක් වූ බව ඔහු පවසනවා. වටිනාකමින් පහළ වැටී ඇති විටක කොටස් මිලදී ගෙන ඒවා
බොහෝ කාලයක් තබා ගැනීම පිළිබඳව එහි විස්තර කෙරෙනවා. පසු කාලයේ බෆට්ගේ ආයෝජන උපක්‍රමයෙ
ශක්තිය වූයෙත් එයයි. වොරන් බෆට් නෙබ්‍රස්කා සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසුව
හාවඩ් ව්‍යාපාරික පාසලට අයෑදුම් කළත් සම්මුඛ පරීක්ෂණයෙදි ඔහුව තෝරා ගැනුණේ නෑ. ඒ
අවස්ථාවේ තමාට ලැබුණ හොඳම දෙය අහිමි වූ ලෙසට දැනුනත් එය ඔහුගේ වාසනාවට ම වූ දෙයක්
බව ඔහු පවසනවා. එම ප්‍රතික්ෂේප වීම නිසා ඔහු කොලොම්බියා ව්‍යාපාරික පාසලට
යෙමුවුණා. එම ව්‍යාපාරික පාසල සම්බන්ධව සොයා බැලීමෙදී ඔහු ආයෝජනය සම්බන්ධව කියවූ
පොත් වලින් හඳුනා ගෙන සිටි බෙන්ජමින් ග්රැහැම් සහ ඩේවිඩ් ඩොඩ් යන මහාචාර්යවරුන්
දෙදෙනෙකුම එම පාසලේ සිටින බව ඔහුට දැක ගන්නට ලැබුණා. තමා ඔවුන් මිය ගොස් ඇති ලෙසට
සිතූ බවත් එසේ නොවන බව සහ ඔවුන් කොලොම්බියාවේ උගන්වන බව දැන ගත් පසු තමා ඇත්තටම
එහි එන්නට කැමැත්තෙන් පසු වන බව ඔහු මහාචාර්ය ඩොඩ්ට ලියා දැන්නුවා. ඔහු වොරන්
බෆට්ව කොලොම්බියා ව්‍යාපාරික පාසලට ඇතුළත් කර ගත්තා. වොරන් තම ආයෝජන දිවියෙ ආරක්ෂා
කර ගත් ආයෝජන නීති දෙක ඉගැන්වූයේ බෙන්ජමින් ග්රැහැම් විසිනි. පළමු නීතිය කිසිමදාක
මුදල නැති කර නොගැනීමයි. දෙවැනි නීතිය කිසිමදාක පළමු නීතිය අමතක නොකිරීමයි.
වොරන් බෆට්ගේ ධනයෙන් 99%
ක්ම පමණ පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිතය. ඉන් 83%
ක්ම බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම වෙනුවෙන් වෙන් කෙරෙනවා. ඔහුගේ දරුවන්
වෙනුවෙන් ධනයෙන් විශාල කොටසක් වෙන් වෙන්නේ නෑ. ඔහුට අවශ්‍යව ඇත්තේ දරුවන්ට
කිසිවක් නොකර සිටීමට තරම් ධනයක් දීමට නොව ඔවුන්ට යමක් කිරීමට තරම් ධනයක් ලබා
දීමටය. ඔහුගේ මුල් විවාහය වන සහ දරුවන්ගේ මව වන සූසන් තොම්සන් 2004
ජූලි මස මිය ගියා. 2006 සිය 76 වන උපන් දිනයේදී වොරන්, ඇස්ටි්රඩ්
මෙන්ක්ස් හා විවාහ වුණා.
වොරන් බෆට් පවසන ආකාරයට ඔහුගේ සාර්ථකත්වයේ රහස තමන්
කැමතිම දෙය කිරීමයි. මේ සියල්ල නැතිවූ විට කුමක් කරන්නේ දැයි යන පැනයට ඔහුගේ
පිළිතුර වූයේ නැවතත් ආයෝජනයෙම යෙදෙන බවයි. මම වයස විසි ගණන් වල සහ තිස් ගණන් වල
විනෝදයෙන් සිටියා. දැන් මම වයස 86 දීත් විනෝදයෙන්
සිටිනවා යෑයි ඔහු පවසනවා. ඔබ කළ යුත්තේ ඔබ ඇත්තෙන්ම ආදරේ කරන දෙයයි. පළමු හෝ දෙවන
රැකියාවන්හිදී තදින් ඒ කිසිවකට බැඳුනේ නැති නම් තමන් ආදරෙන් බැඳෙන රැකියාව හමු වන
තුරු උත්සහය අත්හරින්න එපා යෑයි ඔහු උපදෙස් දෙනවා.
සටහන - නිල්මිණි රාජපක්ෂ රදලගේ
0 comments:
Post a Comment